Home » විශේෂාංග » සිනහව අතරින් තමන්ගෙ කුහකකම්ගැන හිතන්න පොළඹවනවා

සිනහව අතරින් තමන්ගෙ කුහකකම්ගැන හිතන්න පොළඹවනවා

  • Wednesday, 29 April 2015 16:21

සනත් ගුණතිලක විසින් තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරන ලද ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය සිනහව අතරින් මාධ්‍ය දැක්ම පුගිය දිනක පැවැත්වූවා.

ඔ්නැම සමාජයක සංස්කෘතික වටපිටාවක සිදුවිය හැකි සහ සිදුවන පොදු තේමාවක් මෙහි අන්තර්ගතව තිබෙනවා.

මෙවැනි සිදුවීම් ගෝත‍්‍රික සමාජ ක‍්‍රමයේ සිටම පැවැත එන කාරණයක්. ගැහැනියක් හෝ පුරුෂයකු තම පවුල් කුටුම්බියෙන් නිදහස්ව වෙනත් සබඳතාවක පැටලීම සාමාන්‍ය දෙයක්. වර්තමාන සමාජය මෙය අනියම් සබඳතාවක් ලෙස හුවා දක්වනවා. නමුත් මිනිසුන්ගේ ජීවිත තුළ නීතිමය රාමුවෙන් ගැටගසා ඇති විවාහය ට පරිබාහිර සබඳතා අනියම් සබඳතා ලෙස හුවා දැක්වීම කොතරම් සාධාරණදැ යන්න ගැටළුවක්.

මිනිස් සබඳතා කොටුකර තැබිය නොහැකි වටපිටාවක සිනහව අතරින් කතාව තුළ සම්ප‍්‍රාදායික විවාහයෙන් ඔබ්බට ගොස් මිනිසුන් තම බිරිඳ හෝ සැමියා වෙනත් සබඳතාවක ට යොමුවීමෙන් පසු පවුල තුළ ඇතිවන වාස්තවිකයන් හිදී හැසිරිය යුතු ආකාරයේ වෙනස් ගතිකයන් පිළිබඳ කතා කිරීම කාලීන බවක් තිබෙනවා.

වර්තමාන සමාජයේ අහෝසි වෙමින් යන බොහෝ සම්ප‍්‍රදායික බැමි අතර පවුල පවුල් සංස්ථාවත් අයිතියි. විවෘත ආර්ථිිකයෙන් පසු වහල් සේවය පිණිස රටින් පිටවන ගැහැනු සහ පිරිමි ප‍්‍රථමයෙන් ආර්ථිික දුෂ්කරතා නිසා තම පවුල යන සම්ප‍්‍රදායික කුටුම්භිය අත්හැර යන්නට පටන් ගත්තා. මෙය සමාජයේ විවිධ ස්ථර පන්ති තුළ විවිධාකර මුහුනුවර ගනු ලැබුවා.

සිනහව අතරින් කතා තේමාවට අයත් ඉහළ මධ්‍යම පන්තියේ පවුල තුළ ගැහැනිය ලිංගික නිදහස බුක්ති විඳීමේ අභිප‍්‍රායෙන් කුටුම්භයෙන් නික්ම වෙනත් අයෙකු හා සම්බන්ධවෙනවා. ආදරය පේ‍්‍රමය කුමන අර්ථයකින් අර්ථ ගැන්වුවත් තම ශරීරයේ අවශ්‍යතාවන් සොයා මිනිසුන් එකිනෙකා වෙත ඇඳ බැඳ ගැනීම ට ඉස්සර වැඩිහිටියො කිව්වෙ හිතට වහල් වෙලා වල් කම් කරනවා කියලා.

වෙනත් ගැහැනියක සමග හෝ වෙනත් පිරිමියෙකු සමග සබඳතා ඇතිවීම වල් කමක් වේස කමක් බවයි ආගමික උපාසක උපාසිකා සමාජයේ මතය. නමුත් මේ වල්කම හෝ වේසකම ඒ උපාසක උපාසිකා සමාජයටත් අදාලයි. සනත්ගේ සිනහව අතරින් චිත‍්‍රපටයෙ ගැහැනිය වෙනත් පිරිමයෙකු හා සම්බන්ධතාවක පැටලීමත් ඒ සම්බන්ධතාව තුළින් දරුවකු පිලිසිඳගැනීමත් පෙම්වතා ගැබ්ගැනීම පිළිිබඳ අසා ඇතිවන බරපතල නොවන සසල වීම, වෙව්ලීම තුළ ගැහැනිය පෙම්වතාව දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කොට යළි තම විදෙස් ජාතික සැමියාගේ කරුනාවට ආදරයට නතුවීමෙන් ඇය සමාජය තුළ ආරක්‍ෂාවීමත් ඇයගේ දරුවා ද ආරක්‍ෂා වීමත් මෙහි මූලික වශයෙන් අන්තර්ගතව තිබෙනවා.

මේ ගැහැනිය සහ දරුවා ආරක්‍ෂා කිරීමේ වගකීම විදෙස් ජාතිකයෙක් තුළින් සිදුවීම සාමාන්‍යයි. සනත් මෙය සිංහල බෞද්ධයෙක් බාවිතා නොකිරීම ට උපක‍්‍රමශීලී වෙලා තිබෙනවා.එහෙම පිරිමින්ට සමාජයේ බහුතරය කියන්නේ ඒ මිනිහා පොන්නයෙක් වෙන්න ඇති කියන බාවිතාවයි.ලාංකේය බෞද්ධ සමාජයේ පිරිමියෙකු අතින් එවන්නක් සිදුවීම අසාමාන්‍යයි.

මේ නිසාම ගැහැනු වල්කමේ, වේස කමේ ගිහින් හදාගන්න දරුවන් මරා දමන, ගබ්සා කරන ,අවජාතක දරුවන් බිහිකිරීම ආදී වටපිටාවක් අපේ මහා සිංහල බෞද්ධ සමාජයේ සීමාවක් නැතිව සිද්ධ වෙනවා.

සිනහව අතරින් අපිට අපේ සමාජයේ, ආගමික උපාසක උපාසිකා සමාජයේ කුහක කම ගැන හිතන්න පොළමවනවා. ලාංකිකයෙක් කවදාවත් තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක මගුල් නටලා බඩ කරගන්න ළමයෙකුට තමන්ගෙ වාසගම කීයටවත් දෙන්නෙ නැහැ සහ දරුවා තමන්ගෙ කියලා හදාගන්න පෙළඹෙන්නෙ නැහැ. එච්චර මනුස්සකමක් නැහැ. ළමා නිවාසයකින් දරුවෙක් අරන් හැදුවත්.

සිනහව අතරින් සම්භාව්‍ය සිනමා නිර්මාණයක් නොවුනත් එහි සිනමාත්මක රූප බාවිතයක් නැතිවුනත් ඒ තුළ කතාකරන මානුෂීය කාරණා පිළිබඳව වර්තමාන සමාජයේ සාමාජිකයින් ට වෙනත් ඇහැකින් තම තමන්ගෙ කුහකකම් ගැන හිතන්න පොළමවන ස්වභාවයක් තිබෙනවා.

තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධවුනාම අද සමාජයේ පිරිමි ගැහැනුන්ට පිහියෙන් ඇනලා මරනවා. ගහලා මරනවා. වෙඩි තියලා මරණවා. මේ කාලයේ පිරිමි ගෑනියෙක් එක්ක ගියහම පුරුෂ ලිංගය කපනවා .පෙට්ට්‍රෝල් දාලා පුච්චනවා. ඇහැට ඇහැක් දතට දතක් සම්ප‍්‍රදායෙන් තමයි ක‍්‍රියා කරන්නෙ.

මේ ම්ලේච්ජත්වය ඇතිවෙලා තියෙන්නෙ දරාගත නොහැකි කෝපය, ඊර්ෂ්‍යාව සහ උපාසක උපාසිකා සමාජයේ ආගමික පොළඹවාලීම. හික්මීම වෙනුවට ඉවසීම, සාකච්ජාව වෙනුවට දතට දත ඇහැට ඇහැ.

මේ සංකීර්ණ මානසික ව්‍යාකූලතාවන්ට වගකිවයුත්තේ සමාජය, ආර්ථිකය, සංස්කෘතිය, සදාචාරය, ආගම සහ දේශපාලනයයි.

සිනහව අතරින් නරඹලා එළියට ආව සමහර පිරිමි කිව්වෙ ඇහැට කඳුලක් ආවා කියලා . සමහරු හුගක් ඇඩුව හැටි දැක්කා . සමහරු මේක මගේ ජීවිතයට හුගක් සම්බන්ධයි කියලා කිව්වා. හැම කෙනෙකුටම තමන්ගෙ විවාහ ජීවිත තුළ වෙනත් සම්බන්ධකමක් කෙටිකාලීනව හෝ දීර්ග කාලීනව ඇතිවෙලා නැතිනම් ඒක පුදුමයක් . අද සමාජයේ මේ සබඳතා සාමන්‍යයි. නමුත් මේවා තුළ ඇතිවන ගැටුම් අසාධාරණයි. ඇතිවිය යුත්තෙ ගැටුම නොවේ සාකච්ජාවයි අවබෝධයයි.

සිනහව අතරින් මේ මාසෙ 30 දින සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලාවල ප‍්‍රදර්ශණය ආරම්භවෙනවා. මෙහි මංගල දර්ශණය කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී ප‍්‍රදර්ශණය වීමට නියමිතයි.

සේමිණී ඉද්දමල්ගොඩ, සනත් ගුණතිලක ,ජයනි සේනානායක සහ ක‍්‍රිෂ් ප‍්‍රධාන භූමිකාවන් නිරූපණය කරනවා. නිරෝෂා විරාජිණී සංගීත අධ්‍යක්‍ෂවරියක් ලෙස සිනහව අතරින් හිදී ප‍්‍රථම වරට හමුවෙනවා .

තමන්ගෙ ඇස්වල තියෙන කඳුළු හලන්න තමන්ට හෘද සාක්‍ෂිියක් තියෙනවද කියලා බලන්න සිනහව අතරින් පුළුවන් වෙයි .

මනෝහාරී

325